සතුටු සිනා.....


සෑම දිනකම උදෑසන පරිද්දෙන් ඊයේ දිනයේද උදේ කාලය කාර්‍යය බහුල ලෙස ගෙවී ගියේය.
උදෑසන රෝගීන් බලන වටය සෑම දිනකම මට වෙහෙසකරය. සර් ඒමට පෙර සියලුම නව වාර්තා බලමින් රෝගීන්ගේ නවතම තත්වය සොයා බලමින් සර්ගේ රෝගින් බලන වටයට සූදානම් වෙන අතරතුර මිස්ලාගේ, රෝගීන්ගේ හා රෝගීන් බලාගන්නන්ගේ සියලු ප්‍රශ්ණ වලටද මා පිලිතුරු දිය යුතුය.
ඒ අතරින් පතර වෛද්‍ය අවවාද ද දිය යුතුය.

සියලුම රොගීන්ගේ ජීවිත පලමුව මා අත රැදී ඇති බැවින් කොතරම් කායික මානසික වෙහෙස මධ්‍යයේ වුවද මා උපරීම සිහියෙන් වැඩ කටයුතු කල යුතුය. එය සැබවින්ම වෙහෙසකරය.

වාට්ටුව තුල දුවමින් වැඩ කරන අතරතුර මා පිටුපසින් අසුනු ඒ කටහඩ දෙසට නෙත් යොමු කලෙමි.
58 වියැති ඈ සිනාමුසු මුහුණෙන් පැමිණ සිටියේ ලේ වාර්ථාවක්ද රැගෙන එය මට පෙන්වීමටය. මගේ මතකය අතීතයට දිව ගියේය.

ඈ දුටු පලමු දිනයේ ඈ සිටියේ ඇඳක් මත වැතිර එක් පැත්තක් බලා ගත් ගමන්මය.
ඒ අසල ඇගේ වැඩිමල් සොයුරිය අඩමින් සිටි අතර ලෙඩා බැලීමට සියලු උපකරණද රැගෙන මා සැනෙකින් එතනට දිව ගියෙමි.

"අනේ නෝනා කොහොම හරි නංගිව බේරලා දෙන්න" කියමින් සියල්ලට පෙර ඇගේ වැඩිමල් සොයුරිය වැලෙපෙන්නට විය.

"මේ අම්මව මොනා වෙලාද එක්ක ආවේ?? වැටුනද?" මා එසේ ඇසුවේ ඇගේ දකුණු ඇහැ අසල සීරීම් තුවාලයක් තිබුන නිසාය

"උදේ සීතලයි කියල ජර්සියකුත් දාගෙන ගෙදරින් ගියේ. හවස පාරෙ යන කෙනෙක් තමා ඇවිත් කිවේ නංගී පාර අයිනෙ වැටිලා ඉන්නවා කියලා. ඒ ගමන දුවගෙන ගිහින් එහෙම්ම ඉස්පිරිතාලේ ගෙනාවා නෝනා."

"උණ තිබුනද?"

"නෑ නෝනා. අනේ නංගීයි මායි තනියෙම ඉන්නෙ. අපි දෙන්නම බැදලා නෑ. නංගී රෙදි මහලා හම්බ කරන දෙකින් තමා අපි ජීවත් වුනේ. අනේ කොහොම හරි නංනි බේරලා දෙන්න නෝනා...."

අහන දේට පිලිතුරු දීම වෙනුවට ඈට අවැසි සියලු දේ කියමින් මේ අම්මා හඩා වැලපෙයි. සුපුරුදු පරිදි සියලු ප්‍රෙහෙලිකා හමුවේ මා ඒ අම්මා පරීක්ෂ කර බැලුවෙමි.

ඇයට සිහිය නැත. වම් පැත්ත බලාගෙන ඇය මල මිනියක් සේ පසුවෙයි. තද වේදනාවටද ඇගෙන් ප්‍රතිචාරයක් නැත. මොළේ උණ තත්වයක්, මොලයේ අසාමන්‍ය වර්ධනයක් හො ලේ ගැලීමක් යැයි සිතා සියලු ප්‍රතිකාර කරන අතරතුර ඇයට දිගටම අපස්මාර තත්වයක් ඇතිවිය. මොලේ CT පරීකෂණයකට ඈ රැගෙන යන්නට මාද එදා ගිලන් රථයට ගොඩවුනේ මිස් කෙනෙකුත් සමග සියලු කලමණා රැගෙනය.

"මෙයාට හොඳ වෙයිද ඩොක්ට?" ගිලන් රථයට ගොඩවෙන ගමන් මිස් හඬ අවදි කලාය.

"කියන්න බෑ මිස්. මොනවත්ම කියන්න බැරි තත්වෙක තමයි ඉන්නෙ. Internal Bleeding එකක් නැත්නම් හොඳයි. CT එක කරලා බලමුකෝ"

CT එක ලබා ගත් මොහොතේම ලේ ගැලීමක් නැති බව දැන මට සතුටු සිතිනි. නැවත රෝහල කරා යන ගමනේද ඇය ඔහේ ඇඳ මත වැතිර සිටියා පමණි.

ගමන ආරම්භ කර ටික දුරක් යද්දී ඇගේ හුස්ම වැටෙන එක ටික ටික අඩු විය. ගැස්සෙමින් පැද්දෙමින් වංගු හා කඳු අතරින් යන ගිලන් රථයේදී අපහසුවෙන් වුවද අපි කෘතිම ස්වසනය දෙමින් ඇය රෝහලට රැගෙන ආවෙමු.
වාට්ටුව තුලද කෘතිම ස්වසනය හා අනෙතුක් ප්‍රතිකාර දෙන අතරතුර නැවතත් ඇය හුස්ම ගැනීම ආරම්භ කල බව දැක අපි සතුටු වුනෙමු.

සති එකහමාරක් ගියතැන ඈ ඇඳේ තනිව හිද සිනා සෙන තරම් සුවපත් අතට හැරුනි.
වෙහෙසකර වූ උදෑසන රෝගීන් බලන වටයේදී ඇගේ මේ සිනාව මා සතුටින් පුරවාලීමට සමත් විය.

"අම්මට දැන් හොඳයි නේද?"
ඇගේ එකම පිළිතුර සිනහව පමණි.

ටිකට් කපා ගෙදර ගියපසු ඈ මේ නැවත ආවේ සති 2කින් ලේ පරීකෂණ වාර්තාවක් පෙන්වීමටය.
දෙපයින් ඇවිද සිනහ වෙමින් ආ ඇය "දැන් මට හොදයි නෝනා" කියමින් කටහඩ අවදි කලාය. ඒ මා ඇගේ කටහඩ ඇසූ ප්‍රථම වතාව විය.
මරණය දැක නැවත් පැමිණි ඇය සැබවින්ම දේවදූතයෙක් බව ක්ෂණයකින් මට සිහි විය.

මජ්‌ඣිම නිකායේ සුඤ්‌ඤත වර්ගයට අයත් දේවදූත සූත්‍රයේ එන කරුණු කිහිපයක් මට සිහිවිය.
සසර සත්වයන් මහගෙදර කරගත් නිරයේ අධිකරණ භූමියේදී යමරජු විසින් දේවදූතයන් අපට මතක් කර දෙයි.
දේවදූතයන් 5 දෙනෙකි.

1. මළමූත්‍රයෙහි වැටී අසරණ වූ එදා උපන් බිළිදා
2. දිරාගිය ශරීර ඇති වයසට පත් පුද්ගලයා
3. කායික ආබාධ රෝගී පුද්ගලයා
4. දඩුවන් ලබමින් දුක්විදින අපරාධකරුවා
5. මියගිය තැනත්තා

තමාටද මේ ඉරණම අත්වෙන බව මතක් කර ධර්ම මාර්ගයේ හැසිරෙමින් පින් කරන්න යැයි මතක් කර දෙන මෙම පුද්ගලයෝ අප නිරයෙන ගලවා ගන්න දේවදූතයන් බව එම සූත්‍ර දේශනාවේ පැහැදිලිව විස්තර කර ඇත.

මහළුව දුවලව වූ ඇය මොහොතකට මරණය අත්විද නැවත ජීවත් වීමට තරම් පිනැත්තියකි.
ශරීර ශක්තිය දුර්වලව මහලුවිය එලබි ඈ දේවදූතියකි.
ඉතා දැඩිලෙස අසනීපයකින් පීඩා විදි ඈ දේවදූතියකි.
මොහොතකට මරණය අතිවිදි ඈ දේවදූතියකි.
යම් දිනක මාද මෙසේ වියහැකි බව මතක් කර දුන් ඈ දේවදූතයන්ගේ එකතුවකි.

සැමදාමත් උදේ හවස දේවදූතයන් වට කර ඉන්නට තරම් මා පිනැතිය.
වෙහෙසකර වූ එය මගේ රැකියාවය.
මුදල් ගෙවා දේවදූතයන් මධ්‍යයේ මා තැබූයේ මාගේ පෙර පිනය.

මා වැනිම තවත් කොතරම් පිරිසක් මෙසේ දේවදූතයන් වටකර සිටිත්ද??
නමුත් මේ දේවදූතයන් බව ඔවුන් දනීද??
පින් කරන්න ධර්මයේ හැසිරෙන්න මතක් කර දෙන මේ දේවදූතයන් නොදැකීම මොන තරම් පවක්ද?
දේවදූතයන් පිරිවරා සිට ඔවුන් නොදන්නා බව යම රජුට කියන්නට අප බොහෝදෙනාට සිදුවන බව දැනීම දුකකි.
ධර්මය පොතට සීමා වීමේ ආදීනවය එයයි....
අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න. අවසන් බුදුවදන එයයි.....

තෙරුවන් සරණයි....!!!!

දහම් පද උපුටා ගැනීම

https://pitaka.lk/main?n=201210

https://www.youtube.com/watch?v=CgLBzO-nqSQ&t=1s

Comments

Post a Comment

Popular posts from this blog

තීරණය ඔබ සතුයි....