තීරණය ඔබ සතුයි....

ඇය මට මුණගැසුනේ ඊයේ පෙරේදා දිනයකය.
ඒ දිනය මගේ ජීවිතේ හැමදාටම මතකයේ රැදෙන බවට ඇය වග බලා ගත්තේය. දහසය හැවිරිදි ඇය නව යොවුන් නැඟණියකි. අප මුණ ගැසුණේ රෝහලේ කාන්තා වාට්ටුවකදීය. ඇය පැමිණ සිටියේ පැනඩොල් 24ක් බී සියදිවි නසා ගැනීමට උත්සහ කල නිසාය. අවශ්‍ය ප්‍රතිකරයන්ගෙන් පසු ඇය ඇද මත හිඳ සිටියේ ඔරවා ගත් මුහුණෙන් යුතුවය. සවස රෝගීන් බලන වටයේද ඇය සිටියේ ඔරවා ගත් ගමන්මය. ඇය පරීකෂා කර බලා මා ඇගෙන් තොරතුරු විමසීමි.

නංගී තාම ඉස්කෝලෙ යනවද? කතාවට ආරම්භයක් දෙමින් මා ඇසුවෙමි.
ඔව්. 11 පංතියේ. මේ පාර O/L  ලියනවා. ඇගේ පිළිතුර විය.

ඇයි වස බීවේ??

අම්මා ගැහුවා. ඒ නිසා.

ඇයි අම්මා ගැහුවේ??

කෑවෙ නෑ කියලා.

ඒ කිව්වේ??

මම ඉස්කෝලේ ඇරිලා ආවම අම්ම කන්න කිවා. බත් කන්න බෑ කියලා මං අම්මට කිව්වා

අනේ බලන්නකො නෝනා මෙයා බත් කන්න බෑ කිව්වම දුව කඩේ ගිහින් පානුයි ජෑමුයි ගෙනත් දුන්නා. එක්කත් කන්න බෑ කියලා මේ ළමයා කෑ ගැහුවා. දුවට තරහ ගිහින් පාරවල් දෙක තුනක් ගැහුවෙ. ඒකට මේ ළමයා වස බීලනේ. ඇය බලාගැනීමට පසෙකින් සිටි ඇගේ අත්තම්මා කතාවට හූමිටි තිබ්බේ එලෙසය.

ඒ කතාව ඇසූ මා නිරුත්තර විය....

දරුවන්ට කන්න දෙන්න දෙමාපියන් විදින දුක දන්නේ ඔවුන් පමණි.

මට අතීතය සිහිවිය. මා 16 වන වියේදී අපේ අම්මා උදේ නැගිට්ටේ පාන්දර 4.30ටය. ඒ මා ගෙදරින් පිට වුනේ 6ට නිසාය. 5.30ට උයා නිම කරන ඇය උණු බත් පත අත පිච්චි පිච්චි අනා හැන්දකුත් සමග කාමරේටම ගෙනත් දෙන්නේ ලෑස්ති වෙන ගමන් කන්නය. ඒ වෙලා ගියා කියා නොකාම මා ගෙදරින් පිටත් වේ යැයි ඇය බය නිසාය. පාසලේ බාහිර වැඩ නිම කර මා නැවත් ගෙදර ආවේ සවස 6ටය. මා ගෙදර එනවිට රෑ බත් පත සූදානම් ය
මහන්සි වී එන්නේ යැයි කියමින් කන්න බැරි තරම් ලොකු බත් පතක් ඈ මට බෙදා දුන්නේය. අපට කන්න දීම ඇගේ ප්‍රථම රාජකාරිය විය. ඇය මවු සෙනෙහස පෙන්නුවේ බත් පතෙනි.
මේවා කන්න බෑ කියමින් මාද රණ්ඩු කර ඇත. ඒත් ටික වේලාවකින් මූණ ඇඹුල් කරගෙන හෝ මා කෑම කෑවා මිස වහ බීමට තුන් හිතකවත් තිබුනේ නැත.

අද ලෝකේ මොනතරම් වෙනස්ද....
මගේ හිත පෑරී ගියේය.


මේ කාගේ වරද්ද??


රෑ නින්දට පෙර කල්පනා කලෙමි. එයද දෙමාපියන්ගේ වරද බව මට වැටහී ගියේය.
ධර්මයෙන් දුරස්ව දරුවන් හැදීමේ විපාකය එය බව මතකයට නැගුනේ පෙර ඇසූ ධර්ම දේශනාවක් සිහිවීමත් සමඟය.
එහි මෙසේ සදහන් විය.

පින්වත් දරුවෙක් ලැබීමට නම් කරුණු 5ක් මූලික කර ගත යුතුය.
1. ශ්‍රද්ධාව ඇති කිරීම
2. සතර අපාය බිය ඇති කර සිල් රැකීමට යොමු කිරීම
3. ධර්ම දැනුම ලබා දීම
4. දන් දීමට, පින් කිරීමට පුරුදු කිරීම
5. අනිත්‍ය ස්භාවය පැහැදිලි කර දීම

මේ නැඟණිය සතර අපාය භය දන්නේ නම්, මෙය කරයිද? තම ජීවිතය කෙළවර කර ගනිමින් බොහෝ කලක් නිරයේ දුක් විදින්න ඇය කැමති වේවිද??
ඇය එසේ කලේ, ඉල්ලන හැමදේම කැමති හැමදේම හැමවෙලේම තමන්ට නොලැබෙන බව, ලැබුනත් එය සදාකාලික නොවන බව ඇය නොදන්නා නිසා නොවේද?,
ලෝකයේ පවතින පරම සත්‍ය වන අනිත්‍ය ස්භාවය දකින්න දහසය වන විය සපිරි ඇයට බැරිය.
මෙතරම සුළු සිදුවීමක් මැදිහත් සිතින් දරන්න බැරි ඇය හෙට දිනයේ ජීවිතේට කොහොම මුහුණ දේවිද??

අද බොහෝ දරුවන් මෙන්ම දෙමාපියන්ද හයහතරවත් නොදන්නා නොදරුවන් මෙනි. හය හතර යනු සතර අපායත් සදෙවු ලොවත් ය.
පොඩි ධර්ම කරුණක් වුවත් කියන විට බොහෝ දෙනා අහන්නේ මේ තරුණ කාලේ ඔය මොනවා කරනවද කියාය. ධර්මය දැරිය යුත්තේ, ධර්මයේ හැසිරිය යුත්තේ ජව සම්පන්න තරුණ වියේදීම බව ඔවුන් විශ්වාස කරන්නේ නැත.
ඉදගත්ත ගමන් නින්ද යන, කොන්දෙ අමාරුව කියමින් විනඩියක්වත් එක විදිහට ඉදගෙන ඉන්නබැරි මහළු විය ධර්මයේ හැසිරීමට යැයි ඔවුන් සිතති.

ඔබ සැබැවින්ම දරුවන්ට ආදරේ නම් කලයුත්තේ කුමක්ද??
මාරයාගෙ වසඟයේ ඇති සිහින ලොවක් දරුවන්ට දීමද??
සත්‍ය වූ මේ ධර්මය ඔවුනට කියා දීමද??
තීරණය ඔබ සතුයි.

තෙරුවණ් සරණයි...

ධර්ම කරුණු උපුටා ගැනීම: https://www.youtube.com/watch?v=2cgB4qMLLWA&index=9&list=PLTLVlOs6IjIqIcilmhbHxF3Q-kvZShF5Z 

Comments

  1. Nice Article. Keep writing.Format Articles and add some pictures.

    ReplyDelete
  2. දෙමවුපියො කන්න දෙන එක කරදරයක් වෙච්ච කතාවක් ඇහුවමයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සතුටු සිනා.....